Thursday, April 20, 2017

[කවි බූන්දි] ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

Share it Please
http://www.boondi.lk/article.php?ArtID=5115

ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !
බූන්දි, බ්‍රහස්පතින්දා, අප්‍රේල් 20, 2017 02:16:48
කොට්ට පුළුං ගස් පෙළක
කිරි පැහැ පුළුං කැටි
සුළං රැළි මත නැළවෙයි
වැට මායිමක 
වැටහිරියා අතු අඟිස්සක
ලා දම් පැහැති ටිකිරි මල් රොඳ බදියි

වෙල් දෙනිය වැළඳගෙන වැතිරුණු
කංකුං යායක 
නිල් මල් සැලෙයි

රළු කටුක වියළි බිම් කඩකට
ඉලුක් මල් යායක්
හිම පොරෝණාවක් පෙරවයි

නම නොදන්නා 
තුංග තුරු සිරසකින්
කුඩා මල් වැසි වසියි

ශේෂ කන්දක් 
තුරු පෙළක් යට වැතිරී
මිටියාවතේ ගුළි වී නිදයි

තාම ලස්සන මගෙ රට මැදින්
උදය දේවී ලැසි ගමනින් ඇදෙයි !

කවුළුවට එපිටින්
මේ අරුම සිතුවම දිඟ හැරෙන විට
සිඟිති අත දිගුකොට 
පොඩි පුතෙක්
මට නොතේරෙන බසකින්
යමක් මවගෙන් විමසයි

මොනවදෝ කියා දී
ළපටි හිස සිඹින 
නළලත රත් තිලෙකයෙන් සැරසූ
අම්මාගෙ ඇස්
මට තේරෙනා බසකින් දිලිහෙයි !

අම්මෙක් වගේමයි ලක් පොළව
ඔබටත් මටත් 
එකම බසකින් අමතයි !

ඒ බස තේරෙනා විට ඔබට
කවුරු මොනවා කීවත්
පුතේ , උඹ මේ බිමට අයිතියි... !



No comments:

Post a Comment

Blogroll

About