Tuesday, February 14, 2017

වැලන්ටයින්, වැලන්ටයින්.....!

Share it Please

රෝසමල් අරන් ආදරය බෙදා ගන්නට යන වැලන්ටයින් දිනයක් නම් ලංකාවේ ඇතිවුනේ අද ඊයේ තරම් මෑත කාලයක දී වුනත්, අපේ ආච්චිගේ මල්ලී බුජ්ජම්පල ශාන්ත වැලන්ටයින් පොල් කම්හල පටන් අරන් ඇත්තේ නවසිය පනස් නවයේ විතර දීය.

මේ පොල් මෝලට ශාන්ත වැලන්ටයින් නම වැටෙන්නේ, අපේ මුත්තා නැත්නම් ආච්චිලාගේ තාත්තා වූ නයිනාමඩමේ වැලෙන්තීනු ගමරාල ගේ නම අනුව යමින් යැයි මට මතක ඇති විදිහය. පොල් මෝල් කියන්නේ පොල් ගෙඩිය වියලි පොල් කැබලි බවට පත්කරන කම්හලකි.

මේක කරන්නට පොල් ලෙලි ගසා, කටුව බිඳ ඉවත්කර, කුරුට්ට රැහැලා, සුදු පොල් පැහෙන වතුරේ දමා ජීවාණුහරනය කර, සියුම් කැබලි වලට ලියා, පෝරණුවක වියලා, හලා ප්‍රමාණය අනුව වර්ග කර සෞඛ්‍යානුකූලව අහුරන්නට වුවමනාය. මා දන්නා තරමින් මූදුකරයේ කර්මාන්ත විප්ලවය ආරම්භ වූ ප්‍රධාන කර්මාන්ත තුනකි. එනම් කොහු මෝල්, පොල් මෝල් හා උළු මෝල්ය. මේවායින් මුල් දෙකම පොල් ය.

ගෙඩිය පොල් මෝලට යනවිට ලෙල්ල කොහු මෝලට යයි. ලෙල්ල කොහුවෙන අතර, ගෙඩියේ කට්ට, බොහෝවිට අඟුරු වෙයි. දැන් නම් චාකෝල්ම වෙයි. කුරුට්ට තෙලට හැරවෙයි. සුදු මදය අර විදිහෙන් කුඩාවට ලියවී වියලී ඩී.සී. නැත්නම් ඩෙසිකේටඩ් කොකනට් වෙයි.

ඉතින් අද වැලන්ටයින් දවසේ මේ අවුරුදු පනස් අටක් තිස්සේ කර්මාන්තයක් ලෙස, අපේ පලාත්වල අපේම කර්මාන්තයක් ලෙස පැවතෙන, වියලි පොල් විතරකින් නොනැවතී, අද පොල් කිරි, පොල් තෙල් ආදී අතුරු නිශ්පාදන දක්වාත් දියුණු වී ඇති ශාන්ත වැලන්ටයින් පොල් කර්මාන්ත ශාලාව ගැන මෙසේ ලියා තබමි.


ජාල අඩවියට සබැඳීය: http://www.valantinepurecoco.com/


8 comments:

  1. අද වැලන්ටයින් දිනයේ ලොකූ තනියම නේද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.... අපි මේ වැලන්ටයින් අරන් උතුරට ආවා විතරයි....!

      Delete
  2. හොඳ ප්‍රඩක්ට්ස් ටිකක් තියෙනවානේ.......

    ReplyDelete
    Replies
    1. ගහේ බඩුනෙ. නරක් වෙන්නෙ කොහොම ද?

      Delete
  3. වැලන්ටයින් පදයට අලුත් අදහසක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ මානෙල් කියන විදිහටත් ඉතින් පොල්කිරි ටිකක් වැටුනාම තමයි රහ දැනෙන්නෙ හරියට....

      Delete
  4. ඉස්සර බර ගණන් වල මාත් මෙතනට ගිහින් තියෙනවා. මට මතක විදියට පොල් තෙල් ගන්න වෙන්න ඕනේ. ඒ හරියෙන් යද්දි අමුතු සුවඳකුත් එනවා. කොටින්ම ගමක පොල්වත්තක හැදිච්ච මම කවදාවත් ඊට කලින් එහෙම පොල් නිශ්පාදන කරනව අදැකලා තිබුනේත් නෑ.
    ඒ වුනාට ඔය පොල් කර්මාන්ත ආශ්‍රිත මිනිසුන්ගේ ජීවිත බොහෝ දුක්බරයි නේද ලොකු අයියේ? මට මතකයි ඉස්සර කොහු මෝල් වල වැඩ කරන්න පොඩි ළමයි පවා යනවා කියලා. දැන් වෙනස් වෙලාද මන්දා?

    ReplyDelete
    Replies
    1. කර්මාන්ත ක්යන වචනේම කර්ම + අන්ත කියල කඩන්න පුළුවන් නේද නංගී...!

      Delete

Blogroll

About